මම මඳක් ඇඳෙහි වැතිර කල්පනා කළෙමි. නිර්මාණයක් කිරීමේ ආශාව මාගේ චිත්ත සන්තානයේ බෙහෙවින් ඉස්මතු වී තිබිණ. නොයෙකුත් නිර්මාණයන් මාගේ මනස් වේදිකාවේ අපූර්ව රඟ දෙන්නට වී දිගින් දිගටම මම ඒ නිර්මාණයන්වලට කිඳා බැස්සෙමි. සිතුවිලි විශ්වයේ නිමග්නව ඒ නිර්මාණයන් රස විඳි මට මහත් වූ හුදෙකලා සහගතවූ ද, ව්‍යාකූලවූ ද, ඍණාත්මකවූ ද අලස සුවයක් දැනෙන්නට විය. එවිට මට දැනුණේ ජීවිතය පිළිබඳව තද බල නිශේධනාත්මක සහ අවිනිශ්චිත හැඟීමකි.
මම මාගේ පරම මිතුරා සමඟ මහුදු වෙරළේ වැතිර සෝම පානය කරමින් ජීවිතය සහ පැවැත්ම ගැන මනා සේ දොඩමළු වෙමින් සිටියෙමි. ඇත්තෙන්ම අපි බෙහෙවින්ම මරණයට පෙම් කළවුන් වෙමු. ජීවිතය අපට දැනුණේ අනන්ත විශ්වයේ තනි වූ මූසල-අඳුරු-මළ තරුවක් ලෙසිනි. ඒ මන්ද එම තාරකාවට සිතන්නට හැකි නම් ඊට දැනෙන දුක, වේදනාව, පාළු හුදකලාව, අප්‍රසන්න බව අපට බෙහෙවින්ම දැනුණි. අපි නොයෙක් විට සිය දිවි නසා ගැනීම පිළිබඳ කතා කළෙමු. සිය දිවි නසා ගන්නන්ට අපි බෙහෙවින්ම ගරු කළෙමු. කුමන හෝ අවස්ථාවක අප ද එම තත්ත්වයට පත්වීමට ඉඩ තිබූ නමුත් මේ දක්වා එවැන්නක් සිදු නොවීය. ඒ මන්ද යන්න අප දැන සිටියේ නැත.
මේ සංවාදය දිවෙන අතරතුර මට දැනෙන්නට වූ ඉතාම දුක් බර-පාළු-හුදෙකලා අඳුරු ස්වභාවයක් ගැන මම මගේ මිතුරාට විස්තර කළෙමි. මාගේ සියලු ප්රමෝදයන්ගෙන් සදාකාලිකව මා ගැළවීමට කවරෙකු හෝ මගේ අභ්‍යන්තරයේ සිට වෙර වීරිය දරන බවක් මට දැනුණි. පෙර නොවූ විරූ ආකාරයේ ජීවිතය පිළිබඳ ලොබක් මා සන්තානයේ අසුරු සැණින් ඇති විය. එම ජීවිත ලෝභයත් සමඟ මම මහත් වැර වෑයමකින් හුස්ම ගැනීමට උත්සාහ කළෙමි. හුස්ම ගැනීමේ මඳ අපහසුවක් මට දැනිණි. මම බෙහෙවින් හුස්ම ගත්තද එම හුස්ම රැල්ලෙන් මාගේ පෙනහළුවල ගර්ත සැහැල්ලුවෙන්-සනීපයෙන් තෘප්තිමත්ව නොපිරුණි.මීට පෙර ක්‍රමවත්ව හුස්ම ගැනීමෙන් මම ලැබූ මානසික-ශාරීරික සැහැල්ලුව ක්ෂණිකව මේ මොහොතේ මට මගේ මතකයට ආවේ නිරායාසයෙනි. නමුත් මීට පෙර කිසිදාක හුස්ම ගැනීමෙන් එවන් සැහැල්ලුවක්-සනීපයක්-සතුටක් දැනී තිබුණු බව මට මතක නැත.
එන්න එන්නම හුස්ම ගැනීමේ අපහසුවක් මට ඇති විය. හුස්ම හිර වන බවක් සහ හුස්ම නතර වීමට යන බවක් මට දැනිණ. ඒත සමගම මට මහත් ජීවිත ආශාවක්-ලෝභයක් ඇති විය. හුස්ම පොද රඳවා ගැනීම සඳහා මම මහත් වැර වෑයමින් යුතුව හුස්ම ඉහළ-පහළ දැමීමි. මට මහත් දුකක්-වේදනාවක් ඇති විය. ඇතුලාන්තයේ මහා හඬා වැළපුමක්-ආත්මානුකම්පාවක් ඇති විය. මට මුළු ලෝකයටම ඇසෙන සේ ජීවිතය අයැද කෑ ගසන්නට සිතුනි. දුකින්-වේදනාවෙන්-සුසමින් පිරි මා හද ළය පලා ගෙන ඉපිලෙන්නට සේ විය. මාගේ ප්‍රියයන් මත දැවටෙන්නට-සැතපෙන්නට-ඔවුන් තදින් වැළඳ බදා ගැනීමට මට සිත් විය. හදවත වේගයෙන් ගැහිණ. එහි ඝෝෂාව මාගේ දෙසවන්හි ශ්‍රවණ සීමාවන් අතික්‍රමණය කරන්නාක් සේ මට දැනිණ. කිසිවෙකුත් නොමැති කිසිවෙකුත් නොදන්නා, කිසිවක් නොඇසෙන, කිසිවක් නොදැනෙන, කිසිවක් නොපෙනෙන පාළු අවකාශයක් කරා වේගයෙන් මා ඇද ගෙන යනවා සේ මට දැනිණ. විටෙක වේගයෙන් මා අනන්තයට ම ඇදී ගියෙමි. නැවතත් එක් නෙතුපිල්ලමකින්ම නැවත ශරීරය කරා ඇදී එයි.
මට ජීවිතයේ සියල්ල ස්මරණය විය. ඇයගේ මතකය මා ඉතා දරුණු ලෙස කළඹන්නට විය. මට මහත් කනස්සල්ලක් දැනුණි. ප්‍රියයන්ගෙන් වෙන් වූ මෙවන් මූසලම මූසල ගණ අඳුරු පාළු රාත්‍රියක ඔවුන් නොදැන මෙසේ සිදුවීම කෙතරම් අභාග්‍ය සම්පන්න කාලකන්නිකමක්දැයි මට සිතුණි. ඇය, ඇයගේ ලාලිත්‍ය , සිනහව, කතා විලාසය, ආලිංගනය ආදිය මා සෝසුසුමින් මත් කරන්නට විය. කෙතරම් අභාග්‍යයක් ද..? මේ කිසිවක් ඈ නොදන්නීය. දෙමාපියන්-සහෝදර සහෝදරියන්-මිතුරන්-ඥාතිබන්දූන් මට ඉතා සමීපව ආලෝකමත්ව දිස් විය. මට කෑ ගසා හඬා වැලපෙමින් ඔවුන් කරා දුවන්නට සිත් විය. එසේ දුව ගොස් තදින් දෙනෙත් පියා ගෙන ඔවුන් අස්සේ සැඟවී බේරෙන්නට සිත් විය. මේ සියලු ව්‍යාකූල-සංකීර්ණ-දුක්කිත තත්ත්වයන්, එසේ දෙනෙත් පියා නැවත අරින විට සිහිනයක් පමණක් වී නම් කෙතරම් අගනේදැයි මට සිතිණි.
ඇත්තෙන්ම එම සංකීර්ණත්වය මාගේ මානසික මානයන්ට ගෝචර නොවුණි. එම සංකීර්ණත්වය විසින්ම මාගේ භෞතික ක්‍රියා සියල්ල මන්දගාමී කළේය. නිහඬ කළේය. මම ඒ ගොළු බවින්ම කර බා ගතිමි. අඩවන් දෙනෙත්නි-සොල්මන් අත් දෙපා- නිහඬ-අඳුරු මනස මා අනිර්වචනීය ගුප්ත ලෝකයක අතරමං කළේය. මට වස දුන් බව මගේ මිතුරා මට කිව්වේ එවිටය. අහෝ..! කුමක් කරම් ද..? ඔබටවත් මා තේරුම් ගැනීමට නොහැකිද..? මා දෙනෙතෙහි සියුම් කඳුළක් රැඳිණ. කෙසේ නම් මා මේ ගැන ලියන්නද..? සියල්ල අවසන් විය. අවසානයේ මහත් වූ ඉතා පාළු ඈතකින් මට මෙවැන්නක් ඇසිණ.
"මට සමාවෙයන් මිත්‍රයා..! ඇයි උඹේ ඇස්වල කඳුළු..? මම නොයෙක් විට කල්පනා කළා සිය දිවි නසා ගන්න. නමුත් මම දැනුවත්ව මට එහෙම සිය දිවි නසා ගන්න බැහැ. නමුත් මම බෙහෙවින්ම මරණයට ආදරය කළා. ඒත් මට බැහැ දිවි නසාගන්න. ඒ ඇයි කියලා මම දන්නැහැ. මම නිතරම හිතුව මම නොදැනුවත්ව මට කවුරුහරි වස දෙනවා මොනතරම් වටිනවා ද කියලා. එහෙම නම් ඒක මොනතරම් භාග්‍යයක්ද..? එහෙම නම් මම සතුටින් මරණය වැළඳ ගන්නවා. ඒ මොකද එතකොට මා විසින් මම වස බිව්වේ නැහැනේ. ආයෙමත් වතාවක් මට හිතුනා මිනී මරුවෙක් වෙන්න. ඒ මොකද එතකොට මරණය මට නියමයක් ලෙස වැළඳ ගන්න වෙනවනේ. නමුත් මම කැමති නැහැ මගේ මරණ ආශාව වෙනුවෙන් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ආශාව කෙළවර කරන්න. එහෙම අයිතියක්-යුතුකමක් මට නැහැ.
ඉතින් මම දන්නා උඹ මම වගේම ඉතා ගැඹුරින් මරණයට ආදරය කළ මිනිහෙක්. ඒ නිසා මම හිතුවා මම උඹට වස දෙන එක උඹට කරන ලොකු උපකාරයක් කියලා. මොකද මම වගේම අසරණ තත්ත්වයකට නම් උඹත් පත් වෙලා ඉන්නේ, මම හිතුවා මට ඒ සැපත නැතත් උඹට ඒ සැපත උදාකරන්න. අඩු තරමින් උඹවත් මේ කාලකන්නි-නිස්සාර ජීවිත ඇබ්බැහියෙන් මිදෙයිනෙ. කනවා බොනවා, නිදියනවා නැගිටිනවා, අඳිනවා පළඳිනවා, සල්ලි හම්බ කරනවා, දැනුම රැස් කරනවා, සිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා, මොනවද මේ..? මේ සියල්ල පුහු ප්‍රෝඩා ජනක මායාවන් නොවේද..? අතෘප්තිය, මමායනය, හීන මානය, අධිමානය, ආශාව, මේවට එහා යමක් තියෙනවද..? මොනතරම් දරුණු කැත ඇබ්බැහියක්ද මේ ජීවිතය..? ඉතින් උඹ මරණයට ආදරය කරන කොට මම කළේ උඹට ආදරය කිරීම විතරයි. නමුත් දැන් මට හිතෙනවා උඹ දන්නා මටත් උඹ මෙහෙම වස දුන්නා නම් උඹ වගේම අනිර්වචනීය තත්ත්වයකට මටත් මුහුණ දෙන්න වෙයි කියල. මං හිතන් නැහැ ඒක උඹේවත්, මගේවත් වරදක් කියලා. ඒ මොකද මරණයට පෙම් බඳිමින් අපි නැවත වතාවක් කරලා තියෙන්නේ මේ ජීවිතයට පෙම් බැඳීම විතරයි. ඒ දරුණු සූදුවට ඇබ්බැහි වීම විතරයි. ඒක ජීවිත සූදුවේ හැටියක්. උඹටවත්, මටවත් ඒ සූදුවෙන් මිදෙන්න බැහැ. ඒ නිස්සාරත්වය, ඒකාකාරීත්වය, බොල්කම ඇතුළෙම අපි ගිලිල දිය වෙලා යනවා. ජීවිතයේ සියල්ල බොල් යථාර්ථයක් විතරයි. මේ සූදුවේ දිනන කෙනෙක් නැහැ. අපි සියලු දෙනාම මේ සූදුවෙදී පරදිනවා. මේක නේද යථාර්ථය..? ඉතිං මේ ඇත්ත මම පහදන්නේ කොහොම ද..? උඹට සුභ ගමන් මිත්‍රයා"
මේ අයුරින් බොහෝ නිර්මාණයන් මා සිත් සයුරේ යාත්‍රා වන්නට විය. පොළවෙන් පෝෂණය වී පොළව පලා ඇවිත් මතුපිට එළ දරන බිජුවක් වගේ එක්තරා ප්‍රබල සිතුවිල්ලක් සියල්ල මැඩ පැමිණ මාගේ නිර්මාණ යාත්‍රාවන් සුවිශාල කුණාටුවකට ලක් කළේය. මහත් අශුභයක්-නිස්සාරත්වයක්-සියල්ල පිළිබඳ තද නිශේධාත්මක හැඟීමක් මගේ චිත්ත සන්තානයේ රෝපණය විය. ඒ ශුන්‍ය සිතුවිල්ලෙන්ම මම ඒ සිතුවිලි ලෝකයට සමු දුන්නෙමු.
Lanka Newsweek © 2025